Thursday, January 12, 2012

මොරටුවෙන් දෙනියායට ...........

(71 වෙනි කණ්ඩායමේ වාර්ෂික ප්‍රජා සත්කාරය පිළිබඳ කෙරෙන අතීතාවර්ජනයකි෴ )


තවත් එක් වෙහෙසකර දිනයක් අවසානයේ කටුබැද්දේ  එක් කුඩා අදුරු පටුමගක් දිගේ ගමන් කරන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් තිදෙනෙකු අතර ඇති වූ කතාබහක් මෙතරම් විප්ලවයක් කරනු ඇතැයි එම රාත්‍රියේදී ඔවුන් තිදෙනාවත් නොසිතන්නට ඇති.නමුත් අධිෂ්ඨානයත් කැපවිමත් අනෙකුත් සියලු බාධාවන් අභිබවා යමින් අද වන විට ඒ සියලු පැතුමන් සාර්ථක අවසානයක් කරා අපව රැගෙනවිත් ඇත.
ප්‍රමිත්,නුවන්,ඉෂාර තුන් යහළුවෝ එදා කතා කලේ අලුත් යමක් කරන්නේ කොහොමද කියලයි.සැමදාම කරන විනෝද චාරිකා,සුහද හමු  වලට වෙනස් යමක් කරන්නට හැමෝටම ඕන වුනා.අපි සමාජ සේවයක් කරමු.ජිවිතේ පුරාවටම නැවත නැවතත් මතක් කරමින් සතුටු වෙන්න පුළුවන් දෙයක්......අපි කරමු අධ්‍යාපන සම්මන්ත්‍රණයක්.ඔව්,සම්ප්‍රදායික රාමුවෙන් එළියට පැන්න “seminar”එකක්,ගුරුවරු ළමයි ලගට ගිහින් බැරි දේවල් කියලා දෙන සම්මන්ත්‍රණයක් ,මොහොතකින් අදහස් ගලා එන්නට විය.

දින දෙකකට පස්සේ හවස පහට “ගොඩ කැන්ටිමේ”පොඩි සාකච්ඡාවක්.10ක් විතර එකතු වෙලා ප්ලේන්-ටි බිබී කතා කලේ අධ්‍යාපන සම්මන්ත්‍රණය ගැන.පැය කිහිපයක්  දිග ඇදුනු මේ කතාබහ අවසානයේ සාමාන්‍යපෙළ ශිෂ්‍යයන්ව දිරිගන්වන සම්මන්ත්‍රණයක් තියන්නත්, අපිට හොදටම පුළුවන් ගණිතය,විෂය ලෙස තෝරාගන්නත්, ‘කොළඹට කිරි ගමට කැකිරි’ වෙනස් කරලා ගමක් හොයා ගෙන අගනුවරින් ඈතට යන්නත් තීරණය වුනා.ඒ වගේම ගණිතය විතරක් නෙමෙයි, පාඩම් කරන්නේ කොහොමද? ජීවිතය ජයගන්නේ කොහොමද? යහපත් පුරවැසියෙක් වෙන්නේ කොහොමද?කියලත් අපි ඒ නංගිලා මල්ලිලාට කියලා දෙමු කියලා හැමෝම එකග වුනා.
ඉන්පසු පැමිණි බ්‍රහස්පතින්දා දිනයේදී පවත්වුනු සුහද හමුවකදී සියලුම දෙනාගේ ඒකමතික තීරණයෙන් ව්‍යාපෘතිය සදහා අනු කමිටුවක් පත් කෙරුණා.පුද්ගලයන් දස දෙනෙකුගෙන් සැදුම්ලත් එම කමිටුවේ නායකත්වය පැවරුනේ සමීර ඒකනායක සොයුරටය. කාගේත් අදහස් අරගෙන ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරන්න ඕන නිසා කට්ටියම දවස් දෙක  තුනක් රෑට රෑට බෝඩිම්වලට එකතු වුනේ කැමැත්තෙන්මයි.පුංචි පුංචි වාද විවාද අවසානයේ අපේ අරමුණ මුදුන්පත් කරගන්න අපට පුළුවන් වුනා.
කට්ටියම ලොකුම අමාරුවක වැටුනේ ව්‍යාපෘතියට ගැලපෙන නමක් යාගන්න බැරුවයි.ඒ වෙලාවේ අපේ පිහිටට අවේ නිශාද් බුද්ධික සොයුරා,කව්රු කව්රුත් කියපු නම් ගණනාවකට පස්සේ ගැලපෙන නමක් අපට හොයලා දුන්නේ අපේ ඒ යාලුවයි.“අත්වැල” කරලියට එන්නේ එදා ඉඳන්....
ලංකාවම ආවරණය වෙන්න ප්‍රදේශ 3 ක පාසැල් තෝරාගන්න කට්ටිය කතාවුණා.මාතර ,බදුල්ල ,ත්‍රිකුණාමලය ,අවසානෙදි තෝරා ගත්තේ අපෙ පිරිසට නවතැන් පහසුකම් ,ආහාර සලසාගන්න පුළුවන් තරමට යහළුවන් හිටියේ ඒ ප්‍රදේශ වල නිසයි.
මාතර දෙනියායේ පල්ලේගම දුෂ්කර ගම්මානය ගැන අපට විස්තර දැනගන්න ලැබුනේ අපේම  සොයුරු නිපුන් ගමගේගෙන්.දුෂ්කරම කාර්යය වුනේ අවසර ලබා ගැනීමයි,දින දෙකක් දෙනියාය  කලාප අධ්‍යාපන කාර්යාලයට  ගියපු අපට දෙවාශිර්වාදයක් නිසාදෝ හිතුවටත් වඩා සාර්ථක විදිහට කාර්ය නිමා කරගන්න පුළුවන් වුණා.අපි බලාපොරොත්තු වුණේ සති අන්ත දවසක් වුණත් අපි කරන මේ හොඳ වැඩේ ගැන අහපු කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක ගරු  ඩබ් . ජේ . කේ . ඒ . නන්දසෝම මැතිතුමා සතියේ දිනයක් අපට ලබා දෙන්න එකඟ වුණා. 2011.09.16  සිකුරාදා, මාර / පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ සම්මන්ත්‍රණය පවත්වන්න අපට අවසර ලැබුණේ එහෙමයි.
සිසුන් මේ සම්මන්ත්‍රණයට සහභාගී කරවන්න කියලා ඉල්ලීමක් සහිත ලිපි 3 ක් අරගෙන දෙගිඩියාවෙන් පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයටත්,කොලවෙනිගම මධ්‍ය මහා විද්‍යාලයටත්,මෙදෙරිපිටියමධ්‍ය මහා විද්‍යාලයටත්,ගියපු අපට ලැබුනේ ඉහළ පිළිගැනීමක්.විදුහල්පතිතුමන්ලා අප වෙනුවෙන් දක්වපු කාරුණිකත්වය නිසාම 150 කට අධික සිසු පිරිසක් 2011.09.16 වෙනිදා පල්ලේගම විද්‍යාලයට රැස්කරගන්න අපට පුළුවන් වුණා.
නියමිත දිනයට සතියක් තියෙද්දී හදිසියේම සිදු වූ සිදුවීම් කිහිපයක් නිසා සම්මන්ත්‍රණය පවත්වාගන්න නොහැකි තත්වයක් උදා වුනත් අදිෂ්ඨානයත් කැපවීමත් අපව දිරිමත් කළාමුද්‍රණ කටයුතු ලහි ලහියේ සිදුවුණේ අගනුවරින් ඈත කුරුණෑගල පුරවරයේදී.සෝදුපත් බලා නිවැරදි  කිරීම් කර ප්‍රශ්න පත්‍ර හා සටහන් කටුබැද්දට එනකොට ඉතිරි වෙලා තිබුනේ දින 2 ක් පමණයි.
සමීර ඒකනායක සොයුරාගේ නවාතැනේ ඊට පසු දින පෙරහුරුවක්‌ පවත්වන්න කට්ටිය එකඟ වුණා.ළමයින්ට සිත්ගන්නා සුළු ආකාරයෙන් පාඩම් ඉදිරිපත් කරන ආකාරය සාකච්චාවට බදුන් වූ මෙම හමුවේදී ඉගැන්වීම් සදහා අදහස් කරගෙන සිටි සියලු සොයුරන් පෙර පුහුණුවීම් වල නියැලුණා.
2011.09.15 වන බ්‍රහස්පතින්දා උදෑසනම නිපුන ගමගේ සොයුරා සමගින් තවත් කිහිපදෙනෙක් පල්ලේගම ගම්මානය කරා පිටත් වුණේ නවාතැන් පහසුකම්,ආහාර පහසුකම් සකස් කරන්නත් ශාලාව සකස් කිරීමේ කටයුතු සංවිධානය කරන්නත් හිතාගෙනයි.එදිනම සවස  කටුබැද්ද ශෛලබිම්බාරාමයට එකතු වුණ 19 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් බුදුන් වැදලා හවස 6 ට කටුබැද්දෙන් පිටත් වුණේ දහසක් පැතුම් හිතේ පොඩි බැදගෙන.පැය පහකට  වඩා මඳක් වැඩි දුෂ්කර ගමනකින් පස්සේ දෙනියායටත් එතැන්සිට තේ දළු රැස් කරන කැන්ටර් රථයක නැගී මධ්‍යම රාත්‍රියේ පල්ලේගම ගම්මානයටත් ළඟා වෙන්නට අපට හැකිවුණා.රාත්‍රී වගේම පසුදින උදෑසන හා දහවල් ආහාරය ද අපට සපයලා දුන්නේ ගමගේ සොයුරාගේ නිවසෙන්.
එදින රාත්‍රියේ ඔහුගේ නිවසේ කදවුරු බැන්ද අපේ අත්වැල කණ්ඩායම පසු දිනම මාර / පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයට පිටත්වුණා.උදෑසන 8.00 සිට සවස 2.30 දක්වා පැවැත්වුණු සම්මන්ත්‍රණයේ සාර්ථකත්වය අපට වැටහුනේ අපට ලැබුණු ප්‍රතිචාර වලිනුයි.ඉගැන්වීමේ රසවත්බව හා නිරවුල්බව,නොදන්නා දේවල් ළමුන් අසලට පැමිණ තනි තනිව පැහැදිලිකරදීම,පාසැල තුලදී හැසිරීමේදී දැක්වූ විනයගරුකබව,ගුරුමණ්ඩලයේ ප්‍රශංසාවට භාජනය වුනා.වඩාත්ම වැදගත් වුයේ ශිෂ්‍යයන්ගේ සිතතුල සිදුවුණ ආකල්පමය වෙනස්වීමයි.උදෑසන සිටම ඔවුන් තුල වූ උනන්දුව අපව වැඩ වඩාත් දිරිමත්කළා. සම්මන්ත්‍රණය අවසානයේ රැස්කළ ශිෂ්‍ය ප්‍රතිචාර අපගේ සාර්ථකත්වයේ කැඩපතක් යයි අපට සිතුනේ ඒ තුල වූ හැගුම්බර වදන් දුටු විටයි.
ගමෙන් පිටත ලෝකය නොදුටු සිය ගණනක් කුඩා දරුවන් ඒ මොහොතේ පටන් විශ්වවිද්‍යාල සිහිනය දකින්නට පටන් ගැනීම අපට මහත් ආශ්වාදයක් වුණා.උසස් පෙළ හැදෑරීමටද විශ්වවිද්‍යාලයකට ඇතුලත් වීමට ද ඔවුන්ව දිරිමත් කරන්නට අපට ඒ කෙටි කාලයේදී පුළුවන් උණා. මොරටුවෙන් දෙනියායට සාර්ථකත්වය ගලා ගියේ ඔන්න ඔහොමයි.........



2 comments:

  1. අපිට හොදටම පුළුවන් ගණිතය,විෂය ලෙස තෝරාගන්නත්,
    -S3 k daala aapu thopi danna ganithaya...
    ඒ වගේම ගණිතය විතරක් නෙමෙයි, පාඩම් කරන්නේ කොහොමද? ජීවිතය ජයගන්නේ කොහොමද? යහපත් පුරවැසියෙක් වෙන්නේ කොහොමද?කියලත් අපි ඒ නංගිලා මල්ලිලාට කියලා දෙමු
    -Pertrol bomba kadu walin kapala mini marana hati igannuwe nadda thopi

    ReplyDelete