NDT පාඨමාලාව


 NDT පාඨමාලාවේ සුවිශේෂත්වය




NDT පාඨමාලාව යනු ස්වරලත් හෝ වරලත් ඉංජිනේරු තත්වයට පත්වීමේ  මුලික අඩිතාලම වශයෙන් සැලකෙන අතර මේ වන විට ලොව පුරා පිළිගත් වෘත්තිය මට්ටමේ සුදුසුකම් ලබාදෙනු ලබන පාඨමාලාවකි. වර්තමානය වන විට රට තුල ඉතාම තරගකාරී අධ්‍යාපන රටාවක් පවතින මුත් අවසානයේදී විශ්වවිද්‍යාල වරම් හිමි වන්නේ 9 % ක්‌ තරම් සීමිත සිසු පිරිසකට පමණි.ඒ අතරින්ද ශ්‍රී ලංකාවේ ඇති සියලුම විශ්වවිද්‍යාල වල ඉංජිනේරු පීඨ වලට වසරකට ඇතුලත් විය හැක්කේ 1000 කට ආසන්න වූ සුළු ප්‍රමාණයකට පමණි.ගණිත අංශයෙන් උසස් පෙළ හදාරන සිසුවෙකුගේ මුලික බලාපොරොත්තුව ඉංජිනේරුවෙකු වීමය.නමුත් එම අවස්තාව හිමි වන්නේ ඉතා අතලොස්සකට පමණි.ආදරණිය නංගි මල්ලි,NDT  පාඨමාලාව සාර්ථකව නිමා කරන ඔබටත් ඉතා කෙටි කලකින්ම එම තත්වයට පත වීමේ දුර්ලබ අවස්ථාව හිමි වී තිබේ.
බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක (උදා.MORGAN state university)හෝ ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක අවසන් වසරට ඇතුලත් වී තම උපාධිය (B.Eng)සම්පුර්ණ කිරීමට NDT ඩිප්ලෝමාධාරීන්ට අවස්ථාව සලසා දී තිබේ.එමෙන්ම ශ්‍රී ලංකාවේදී city & Gilds,SLIIT... වැනි ආයතන මගින්ද NDT ඩිප්ලෝමාධාරීන්ට තම උපාධිය සම්පුර්ණ කිරීමට අවස්ථාව සලසා දී ඇත.එමෙන්ම විවෘත්ත විශ්වවිද්‍යාලය (OUSL)මගින් පවත්වාගෙන යනු ලබන B.Tech. ඉංජිනේරු පාඨමාලවේ පළමු,දෙවන,හා තෙවන අදියර වල තෝරාගත් විෂයන් විශාල ප්‍රමානයක්‌ NDT ඩිප්ලෝමාධාරීන් සදහා නිදහස් කරනු ලබයි.මිට අමතරව IIESL (Institute of  Engineering  Sri Lanka) ආයතනයේ ශිෂ්‍ය සාමාජිකත්වය ලබා ගත හැකි වීම හා එහි විභාග වලට පෙනී සිටීමට හැකි වීම ද ඔබට ලැබෙන අමතර වාසියකි.NDT පාඨමාලාව නිම කරන සිසුන්ට IESL හි පළමු අදියරේ විෂයන් තුනක් නිදහස් කරනු ලබයි.එමෙන්ම OUSL හා IESL ආයතන වලට ඇතුලත්ව තමන්ගේ උපාධිය සම්පුර්ණ කිරීමේ වරම 2වන වසර විභාගය සාර්ථකව අවසන් කරන NDT සිසුන්ට හිමි වීමද සුවිශේෂත්වයකි.
NDT පාඨමාලාව සාර්ථකව නිමා කරන සිසුනට වසර 10 ක වැඩබිම් අත්දැකීම් වලින් පසුව Msc. පාඨමාලා හැදෑරීම සදහා ද අවස්ථාව සලසා දී තිබේ.එමෙන්ම වසර 10ක අත්දැකීම් සහිත NDT ඩිප්ලෝමාධාරියෙකු රැකියා සදහා ඉල්ලුම් කිරීමේදී වරලත් ඉන්ජිනේරුවෙකු ගේ සම මට්ටමේ ලා සලකනු ලබයි.
එමෙන්ම NDT පාඨමාලාව නිමා කරන සිසුනට නීතිඥ වෘත්තිය,ප්‍රමාන සමීක්ෂණය, CIMA, CIM ආදී වෙනත් පාඨමාලා හැදෑරීමේ අවස්ථාව හිමි වන අතර එම පාඨමාලාවන්හි තෝරාගත් විෂයන් ප්‍රමාණයක්‌ නිදහස් කිරීමද සිදුකරනු ලබයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් මගින් පාලනය වන එකම ඩිප්ලෝමා පාඨමාලාව මෙය වන අතර සුපිරි විද්‍යාගාර පහසුකම්,පුස්තකාල පසසුකම්,පරිගණක විද්‍යාගාර පහසුකම් මෙන්ම Wi-fi පහසුකම් ද NDT පාඨමාලාව හදාරන සිසුන් සදහා ලබා දී තිබේ. 2වන වසර සිසුන් සදහා නේවාසිකාගාර පහසුකම්  මෙන්ම අඩු අදායම් ලාභී සිසුන් සදහා මහපොළ හා ශිෂ්‍යාධාර පසුකම් ද ලබා දීමට කටයුතු යොදා ඇත. 

  71 වසරක සාඩම්බර අපේ අතීතය 



National Diploma in Technology (NDT) එහෙම නැතිනම් තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව කියන්නේ වසර 71ක අභිමානවත් ඉතිහාසයක් තියෙන දිවයිනේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලීය අභ්‍යන්තර පුර්ණකාලීන පාඨමාලාවක්.
මරදාන කාර්මික අභ්‍යාස ආයතනයේදී 1940 වසරේ Junior Technical Officer          (JTO) පාඨමාලාව ලෙසින් ආරම්භ වුනු NDT පාඨමාලාව,1960 දී කැනේඩියානු ආධාර සහිතව කටුබැද්ද ප්‍රායෝගික තාක්ෂණික ආයතනය ලෙස වත්මන් මොරටුව විශ්ව විද්‍යාලිය භුමිය තුල සිය සංවර්ධනයේ පළමු පියවර තැබීය.
1967 දී කටුබැද්ද ප්‍රායෝගික තාක්ෂණික පාඨමාලාව NDT පාඨමාලාව ලෙස සංවර්ධනය කරන්නට යෙදුනි.1972 පෙබරවාරි 15 දින ශ්‍රී ලංකා කාර්මික ආයතනය, කටුබැද්ද මණ්ඩපය ලෙසද,1978 දී මොරටුව විශ්ව විද්‍යාලය බවට ද පත්වූ මෙම පාඨමාලාව ලංකාවේ මධ්‍යම මට්ටමේ ඉංජිනේරු කළමනාකරුවන් ගේ අවශ්‍යතාව සපුරා ගනු වස්,එතැන් පටන් 1987 දක්වා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේත්,විභාග දෙපාර්තමේන්තුවේත්,මොරටුව සරසවියේත් සාමුහික වගකීමක් යටතේ  NDT පාඨමාලාව පාලනය විය.
NDT පාඨමාලාවරටේ ඉංජිනේරු ක්ෂේත්‍රය වෙත ඉටු කරනු ලැබූ මෙහෙවර හේතුවෙන් එය තව දුරටත් සංවර්ධනය කල හැකි ආකාරය පිලිබදව නිර්දේශ කිරීම සදහා  ‘මුණසිංහ කමිටුව’ පත් කරනු ලබන්නේ ඉන් අනතුරුවය.එම කමිටුවේ නිර්දේශ මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේත්,මොරටුව හා පේරාදෙණිය විශ්වවිද්‍යාල වල උප කුලපතිවරුන්ගේ සාමුහික තීරණයට අනුව 1987 ජුනි මස 5 වන දින සිට NDT පාඨමාලාව 1987 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 29 (e) වගන්තිය යටතේ මොරටුව විශ්වවිද්‍යාලීය පුර්ණකාලින තුන් අවුරුදු පාඨමාලාවක් බවට පත් විය.
ඉන් අනතුරුව එතෙක් කලක් මොරටුව විශ්වවිද්‍යාලය යටතේ පාලනය වූ අප පාඨමාලාව 2000 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලිය තාක්ෂණික ආයතනය යටතට අන්තර්ග්‍රහණය කරන ලදී.එතැන් පටන් අද දක්වා NDT පාඨමාලාව පාලනය වන්නේ ඉහත කි තාක්ෂණික ආයතනය මගිනි.
එදා මෙදා තුර NDT ඩිප්ලෝමා ධාරීන් රටේ සංවර්ධනයට වූ දායකත්වය වෙන කිසිවෙකුටත් දෙවෙනි නැත.නයායික හා ප්‍රායෝගික දැනුමෙන් පිරිපුන් ඔවුන්ගේ දක්ෂතාවයන් රටේ සංවර්ධනය තුලින් මනාව විදහාපාන බව කාටත් රහසක් නොවේ.