Tuesday, September 24, 2013

සිව් වසරක මතක සටහන්....


                                   සිව් වසරකට පෙර, එනම් 2009 වසරේ නිකිණි මස ඔබ අප මෙන්ම තවත් මානවකයන් පිරිසක් මොරටු සරසවි මව් තුරුලට වැදුනේ නැවුම් බලාපොරොත්තු ගොන්නක් තම සිත්හි පුරවාගෙනය.ඒ මානවකයන් අතර එක පෙලට ඇදුනු එක කුස උපන් සහෝදරයින් දෙදෙනෙකු මෙම සරසවි පුරවරයේ නවමු පරිච්ඡේදයක කතුවරයින් වන බව එදා එහි සිටි කිසිවෙකුත් විශ්වාස නොකළහ.
                                      නමුදු අධිෂ්ඨානයත් කැපවීමත්  එක්තැන් වුනු තැන සාර්ථකත්වය රදා පවතින්නේමය.‘හිත ඇත්නම් පත කුඩාද’ යන්න යතාර්ථයක් කරමින් අද වන විට එම අය්ය-මලෝ දුටු ලෝකය සැබෑවක් වී හමාරය.දෙදෙනෙකුගෙන් ආරම්භ වුනු නවකවධ විරෝධී ශිෂ්‍ය එකමුතුව අද වන විට පරපුරු 3ක් ඉදිරියට ගොස් සිව්වන පරපුර පිළිගැනීමට ද පෙරමග බලමින් සිටී.
                        එතෙක් මෙතෙක් දක්වා මොරටුව විශ්විද්‍යාලීය නවකවධ විරෝධී ශිෂ්‍ය එකමුතුව පැමිණි ගමන් මග සුමුදු මල් ඇතිරූ පලස් මතින් වැටුණු සුව පහසු ගමනක් නොවේ.වරෙක මිතුරන්ගේද වරෙක පසමිතුරන්ගේද ලෙයින් නැහැවුණු, වරෙක ත්‍රාසයද - භීතියද - ප්‍රීතියද ගෙනදුන්නා වුද, අභියෝග පිට අභියෝග ගෙනදුන්නා වුද, ලොකු කුඩා සැමගේ ගල් මුල් මඩ ප්‍රහාර ලද්දා වුද කටුක මාවතකි එය.

අපි අ.ල. ඇයි අවුල්ද ?

(අපි සාපේක්ෂව වෙනස් - part 2)



                   සත්තකින්ම අපි ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල තුල තිබෙන පාඨමාලාවන්ට වඩා වෙනස් වන්නෙමු.ඒ විශ්වවිද්‍යාලයක් තුල පවත්වාගෙන යනු ලබන එකම ඩිප්ලෝමා පාඨමාලාව අප වන බැවිනි.එමෙන්ම එය තුන් අවුරුදු පුර්ණකාලින පාඨමාලාවක් වීමත් ඒ සදහා ඇතුලත් වීමට තුන් අවුරුදු උපාධි පාඨමාලාවකට ඇතුලත් වීමට අවශ්‍ය තරම් වන උසස් පෙළ කඩයිම් ලකුණු ප්‍රමාණයක් අවශ්‍ය වීමත් අනෙකුත් විශේෂිත කාරනා අතර පෙරමුණේ පසුවේ.           

           අපි සාපේක්ෂව වෙනස් වන්නේ එවන් වූ විශේෂිත පාඨමාලාවක් හදාරන නිසා හෝ අපි විසින්ම කියාගන්නා නිසා හෝ නොවේ.අපි වෙනස් වන්නේ අනෙකුත් කිසිදු විශ්වවිද්‍යාලයක නොවන ආකාරයේ උප සංස්කෘතියකට,චර්යා හා ආචාරධර්ම රටාවකට,වෙනස් ආකාරයේ ජේෂ්ඨ -කනිෂ්ඨ සහසබදතාවයකට උරුමකම් කියන නිසාවෙනි.