Monday, April 16, 2012

පුසාගේ කොලම

 
images (14)
           පුසා මේ කොලම ලිව්වේ මාසයකට දෙකකට කලින්ය.ඒ ග්‍රෑන්ඩ් ෆිනාලේ exam එක අතරතුර ස්ට්‍රයික් එකක් කරන්නට පටන් ගත් කාලයේය.එත් කොලම ඉවර කරන්නට කලින් ස්ට්‍රයික් එක ඉවර උන නිසා ඇඩ්මින් තුමාට ආයෙත් exam වලට පාඩම් කරන්නට වුනේය.කොලම ප්‍රසිද්ධ නොකළ නිසා පුසා ඇඩ්මින් වන මං තුමා සමග හිත අමනාප කරගත් අතර නැවත පුසාගේ කොලම ලිවිම පවා ප්‍රතික්ෂේප කළේය.ඒ නිසා පුසා වෙනුවෙන් මේ කොලම පල කරන්නට අදහස් කල අතර තවමත් ස්ට්‍රයික් එක තියෙන බව සිතාගෙන මේ ලිපිය කියවන ලෙස පාඨක ඔබෙන් ඉල්ලා සිටිමි.
  
        මේ දවස් වල පුසා ඉන්නේ හොඳටම හන්ටර් වෙලාය.ARCHI කොල්ලො ටික නැත්නම් කෑම ටිකක් හොයා ගන්නට පාරට බහින්නට වෙනවා සිකුරුය.බඩෙන් කාලක්වත් පිරෙන්න ඉඳුල් නොවැටුන නිසා දවල්ට නින්ද යන්නෙත් නැතිය.ඒ නිසා විස්සවිද්‍යාල ආයෙ පටන් ගන්නෙ කවද්ද බලන්නට පුසා නිකමට මෙන් ගොඩ කැන්ටිමෙන් පල්ලම් බැස්සේය.

මුලින්ම හම්බුනේ ගහක් යටට වී සාන්ත දාන්ත හීතල පිපිඤ්ඤා ගෙඩියක් වගේ බලාගත්ත අතේ බලාගෙන ඉන්න විස්සවිද්‍යාල ශිෂ්‍යයෙකි.පුසා හෙමීට ඒ පැත්තට කිට්ටු කලේය.
"ලෙක්චර්ස් නැති නිසා හරි පාඩුයි නේද අයියෙ?"
"පිස්සුද ඕයි?" කොල්ලා නිකන් දාහට අරන් නිකම්ම දුන්න ගානට මැලවිලාය.
"එහෙනම් මෙච්චර දුකෙන් ඉන්නෙ??"
"ලෙක්චර් තිබුනත් අපට හරියකට ඒ කියන මල විකාර තේරෙන්නෑනෙ.ඒ උනත් මාසයක් ගානෙ හම්බුන 2500ත් මාස දෙකකින් හම්බුනෙ නැතුවහම අපි කොහොමද කාල ඇඳල ජීවත් වෙන්නෙ ඕයි?" කොල්ල ඉකි ගගහා අඬන්නට විය.
"මැතිතුමාට වත් කියල බැලුවෙ නැද්ද අයියෙ?”
"පාහර බැල්ලිගෙ............"කොල්ලා බැන්නේ ඇමති තුමාටද ,තමාටද කියා හරි හැටිනොතේරුන නමුත් කොල්ලාට නහුතෙට තද වුන බව දැනගත් පුසා වචනෙ පිටවෙනකොටම සතර පයට වෙර දී දුව ගොස් ඔපීසිය පැත්තෙන් හිට ගත්තේය.
"එයාලට විතරක් වැඩි කරල හරි යනවද මෙයා? උපාධි නැති වුනාට අපි නැත්නම් මේකෙ එක වැඩක්වත් කෙරෙනවද?”
"ඒකනෙ මෙයා, මම නම් කියන්නෙ එයාලට වැඩි කලොත් අපිත් පටන් ගන්න ඕන ස්ට්‍රයික් එකක්.හා නැද්ද?"
"ඒකනෙ, එයාලට නම් ඔය කියන තරම් අග හිඟ නෑලු,මාසෙකට ලක්ස පහ හයක් ගන්නවලු ලියුම් වලට අත්සන් කරලම."
අන්තෝ ජටා බහී ජටා කිව්වලු!! තව මාස ගානකට හරියට කෑම වේලක් ලැබෙන පාටක් පේන්නට නැති බැවින් පුසා හෙමිහිට එතනින් ලිස්සා ගියේය.
Work Shop එක පැත්තෙන් ලී ඉරන සද්දයක් ඇහුන බැවින් Instructors ලා Research එකක්වත් කරනවාද බලන්නට පුසා ඒ පැත්තට හොම්බ දැම්මේය.
කිරි අප්පට barking dogs කිව්වලු.ඒ කට්ටිය ජනෙල් දොරවල් හොඳටෝම ඇරගෙන කුනු කෙල පෙරාගෙන නිදිය.සද්දේ එන්නේ නිදාගෙන ඉන්න අංකල් කෙනෙක්ගෙන් ය.
"එපා......එපා......එපා......"අන්කල් කාරයා දැකපු හීනෙකට හොඳටම බය වී කෑ ගහ ගෙන නැගිට්ටේ පුසා එතනින් කැපෙන්නට ඔන්න මෙන්න තියෙද්දීය.
"නරක හීනයක්වත් දැක්කද?" බල්ලෙක් බළලෙක් වුනත් කරදරයකදී අහක බලාගෙන යාම හොඳ නැති නිසා පුසා ඇසුවේය.
"අම්මෝ .. මහ භයානක එකක්.විස්සවිද්‍යාල සේරගෙම ඉන්න ළමයි පාරට බැහැල මන්දිරේට දුවගෙන ගියා.ගිහින් මැතිතුමායි ඇමතිතුමායි දෙන්නවම අල්ලගෙන ගිහින් ගෝල්ෆේස් එක ගාවින් මුහුදට තල්ලු කරන්න හැදුවනෙ ඉක්මනට ආයෙ විස්සවිද්‍යාල පටන් ගන්නෙ නෑ කියල."
"පව් අනේ, අසරණ මැතිතුමා. අංකල් ඒකද බය වුනේ?"
"නෑ බන්, එතකොටම මැතිතුමා කිව්වනෙ කියන ඕන දෙයක් කරන්නම් මාව මුහුදට දාන්න එපා කියල."
අනෙක් පැත්තට හැරුනු බුවා නැවතත් ගොරවමින් නිදාගන්නට වූයෙන් පුසා පාරට බැස්සේ මැතිතුමාගේ ගෙවල් පැත්තට කිට්ටු කරන්නට හිතාගෙනය.
බරස් ගා වැදුන බ්‍රේක් පාරක් නිසා උතුර දකුණ මාරු වූ පුසා වටපිට බැලුවේ බලු වෑන් එකවත් ආවාද කියලාය.මේ දවස්වල සීසන් එක නිසා බලු වෑන් එකක් වටේ කැරකෙන බව කිව්වේ වලේ ඉන්න කන් කොටා ය.මොනවා උනත් ,විස්සවිද්‍යාලේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ලොකු සර් විද්‍යාලෙ හිටි හැම බල්ලෙක්ටම පිස්සු බලු බේත් විද්දේ ගිය සතියේය.මොනවා උනත් උන්දෑ රත්තරං මනුස්සයාය.
නැවතුන ඉන්ටර්කූලර් එකේ වීදුරුව පාත් වී ලොකු සර්ගෙ පින් පාට මූන එලියට ආවේය.
“පුසා කොහෙටද යන්නේ?”
“මැතිතුමා හම්බෙන්න කියලා සර්”
“නැගපන්. නැගපන්. මාත් මේ යන්නෙ ඒ පැත්තෙ”
සටන් පාඨ ලියු බැනර් කටවුට් වලින් වාහනෙම පිරිලාය.කීපයක් හොම්බෙන් එහාට මෙහාට කර යන්තම් පිටිපස්ස සීට් එකේ කොනක වාඩි වෙන්නට පුසාට පුලුවන් විය.
“උඹ මොකද ඒ පැත්තේ යන්නේ?” ලොකු සර් ඇහුවේ මූණ දෙල් කරගෙනය.
“මේ දවස්වල කන්න බොන්න හරි හිගයිනෙ සර්.” පුසා නගුටෙන් ටයන්න ගසා ඒ මත වාඩි උණේය.
“උඹ බය වෙන්නෙපා.මැතිතුමා අලුතෙන් විස්සවිද්‍යාල වගයක් හදන්න යනවනේ. එතුමා කිවුවා මටත් එකක් දෙන්නම් කියල. එතකොට මම උඹව එහෙට එක්කන් යන්නම්කෝ. එතකොට මේ වගේ ජරාව කන්න ඕන නෑ.”
“ඔව් ඉතින් ඔබ තුමාල මේ කන විදිහට කාගෙන ‍කාගෙන ගියොත් අපි‍ට කන්න කියල දෙයක් ඉතුරු වෙන එකක් නෑ තමා.” පුසා ඇගට පතට නොදැනි කියා දැම්මේය.
“සර්ට ඔච්චර උදව් කරන එකේ මැතිතුමාට විරුද්ධව ස්ට්‍රයික් කරන එක හරි නෑනෙ සර්.”
“මේකනෙ බං. අපි ස්ට්‍රයික් කරනකන් විස්සවිද්‍යාල වහල තියනවනෙ. එතකොට අපට පුලුවන්නෙ පෞද්ගලික උපාධි කඩේකට ගිහිල්ල මොනා හරි උගන්නල කීයක් හරි හොයාගන්න. අනෙක මැතිතුමාම කිවුවනෙ එහෙම කලාට වරදක් නෑ කියල”
මේ කතා අහගෙන තවදුරටත් කාර් එකේ යාම එපා වුණ පුසා කොල්ලුපිටිය හන්දියෙන් පාරට පැන්නේය.
A/C නිසා කරවුන මොළේ බුරුල් වෙන්නට හච්චිං දෙක තුනක් අරින කොටම මැමතිතුමා මතක්වුන නිසා ‍පුසා මන්දිරේ පැත්තට හැරුනත් ලිප්ටන් වටරවුම පැත්තේ ඉඳන් එන පෙලපාලියක හඬ ඇහුන නිසා පොඩ්ඩක් නැවතුනේය.රතුරත්න මල්ලිලා බෝඩ් කෑලි උස්සගෙන,වැටවල් පෙරලගෙන,කෑ ගහගෙන,මන්දිරේ පැත්තට එන්නේ ය.ඉස්සරහින්ම ආවේ කාස රෝගියෙක් වගේ කෙට්ටුම කෙට්ටු උසම උස පොරක් ය.
"කැම්පස් වහල තියෙන එක ගැන මොකද කියන්නෙ?"
මාධ්‍යවේදියෝ මෑන්ව වට කරගෙන ප්‍රශ්න පිට ප්‍රශ්න ඉදිරිපත් කරති.
"මේ ඡන්දෙ දවස් ටිකේ ඕක වහල තියපු එක කොච්චර දෙයක්ද,එක ගලෙන් කුරුල්ලො දෙන්නයි!!!"
"ඒ කිව්වෙ?"
මාධ්‍යවේදීන්ගෙ කකුල් අතරින් රිංගා ගිය පුසා ඇහුවේ ඇත්තටම ඒ කතාව නොතේරුණ නිසයි.
“ අයියෝ සිම්පල්නේ.පළවෙනි එක අපට පෝස්ටර් ටික අලවගන්න අමතර වියදමක් යන එක නතර උණා. දෙක අපට මේකෙන් ඡනදෙට හොද සටන් පාඨයක් හම්බුණා.”
මෙහෙම කියපු පොර බෝඩ් ලෑල්ලක් අරගෙන ආයෙත් පිකටින් එකට සෙට් උණා.
පිකටින් එක නිසා ඉස්සරහ දොර වහල තිබුණත් කුණු කාණුවක් දිගේ බඩගාගෙන ගිහින් මන්දිරේ පස්ස පැත්තෙන් මතුවෙන්න පුසාට පුලුවන් උණා.පුසා යනකොට මැතිතුමයි ඇමතිතුමයි දෙන්නම මන්දිරේ ඉස්සරහ පඩිපෙළ උඩට වෙලා කල්පනා කරනවා.
“ආ පුසා,ළමයෙක්වත් විස්සවිද්‍යාලෙට දාගන්නද?”
පුසා දැක්ක ගමන්ම ඇමතිතුමා සුපුරුදු පනාව දාන ගමන්ම ඇහුවා.
“යන්න තියෙනව නම් කොච්චර එකක්ද?? ඒත් ඉතින් ඕකට ගියොත් මැරෙන්න කලින් ඕකෙන් එලියට එන්න පුලුවන් වෙයිද සර්?”
විස්සවිද්‍යාල බල්ලට ගිය බව දන්නවා උනත් පුසා නොදන්න ගානට ඇහුවා.
“ඒකත් ඇත්ත තමා. අවුරුදු 7ක් 8ක් යනකොට උඹලා මැරිලත් තියෙයි තමා” මැතිතුමත් උගුරෙ රැල් බුරුල් ඇරියා.
“නෑ නෑ සර්... දැන් එහෙම වෙන්නෑ.. අපි ‍‍පෞද්ගලික විශ්ව විද්‍යාල ගෙනාවහම අවුරුදු 4ක උපාධිය තුනෙන් උනත් කරල එලියට ආවහැකිනෙ” ඒ ගමන ඇමතිතුමා කියාපි.
“අපේ කැම්පස් ආයෙ පටන් ගන්න එකක් නැද්ද සර්?” පුසා ප්‍රශ්නේ කෙලින්ම මැතිතුමාට දැම්මා.ප්‍රශ්නේ ඇහුවා විතරයි එතුමා බිම පෙරලි පෙරලි අඩන්න වුණා.
“ඇයි ඕයි මටම මෙහෙම වෙන්නේ? මම අවුරුදු 5ක් යනකන් මොන මල යකෙක්ගෙවත් පඩිය 5%කට වඩා වැඩි කරන්නේ නෑ කියලා අත්සන් කරලනෙ ලෝකදාන බැංකුවෙන් ණය ගත්තේ. අයියෝ ඇයි මට මෙහෙම කරන්නේ....? මම කොහොමද මුන්ට පඩි වැඩි කරන්නේ....?”
මැතිතුමා පොඩි එකෙක් වගේ අඬනවා,ඇමතිතුමා මැතිතුමාව අල්ලගෙන වත්තන් කරගත්තා.
"කිසි දේකට බය වෙන්න එපා,ලබන සතිය වෙනකොට 36%කින් පඩි වැඩි කරල, අපි රාජ්‍ය විශ්ව විද්‍යාල නැවත ආරම්භ කරනවා"ඇමැතිතුමා අභීතව සිංහ නාද කලා.
ඤාව්.. ඤාව්.. ඤාව්..
ප්‍රශ්නේ තරම පුසගේ පුංචි මොලේට හොදටෝම තේරුන නිසා 100 බස් එකක එල්ලුන පුසා ගෙදර එන්න පිටත් වුනා.

No comments:

Post a Comment