Tuesday, September 24, 2013

සිව් වසරක මතක සටහන්....


                                   සිව් වසරකට පෙර, එනම් 2009 වසරේ නිකිණි මස ඔබ අප මෙන්ම තවත් මානවකයන් පිරිසක් මොරටු සරසවි මව් තුරුලට වැදුනේ නැවුම් බලාපොරොත්තු ගොන්නක් තම සිත්හි පුරවාගෙනය.ඒ මානවකයන් අතර එක පෙලට ඇදුනු එක කුස උපන් සහෝදරයින් දෙදෙනෙකු මෙම සරසවි පුරවරයේ නවමු පරිච්ඡේදයක කතුවරයින් වන බව එදා එහි සිටි කිසිවෙකුත් විශ්වාස නොකළහ.
                                      නමුදු අධිෂ්ඨානයත් කැපවීමත්  එක්තැන් වුනු තැන සාර්ථකත්වය රදා පවතින්නේමය.‘හිත ඇත්නම් පත කුඩාද’ යන්න යතාර්ථයක් කරමින් අද වන විට එම අය්ය-මලෝ දුටු ලෝකය සැබෑවක් වී හමාරය.දෙදෙනෙකුගෙන් ආරම්භ වුනු නවකවධ විරෝධී ශිෂ්‍ය එකමුතුව අද වන විට පරපුරු 3ක් ඉදිරියට ගොස් සිව්වන පරපුර පිළිගැනීමට ද පෙරමග බලමින් සිටී.
                        එතෙක් මෙතෙක් දක්වා මොරටුව විශ්විද්‍යාලීය නවකවධ විරෝධී ශිෂ්‍ය එකමුතුව පැමිණි ගමන් මග සුමුදු මල් ඇතිරූ පලස් මතින් වැටුණු සුව පහසු ගමනක් නොවේ.වරෙක මිතුරන්ගේද වරෙක පසමිතුරන්ගේද ලෙයින් නැහැවුණු, වරෙක ත්‍රාසයද - භීතියද - ප්‍රීතියද ගෙනදුන්නා වුද, අභියෝග පිට අභියෝග ගෙනදුන්නා වුද, ලොකු කුඩා සැමගේ ගල් මුල් මඩ ප්‍රහාර ලද්දා වුද කටුක මාවතකි එය.

                    දෙසොහොයුරන්ගේ මතයට එක්වන එක කුස නුපන් තවත් සොහොයුරන් රැසකගේ අමරණිය මතකයන් ලියුම්කරුගේ හදවතේ තවමත් නොමැකෙන ලෙස සිත්තම්ව ඇත.ඒ අතර ලසිත්,වච්චි,කඹුරා, පොඩ්ඩා,ලොලා,බර්ටි,ලලක්කා,පැණියා,බෙන්ටා,සුමේධ,අයිසා,මිල්ලේ,ගය්යා ආදී එකපෙලට එන නම් රැසකි. ජෙෂ්ඨයනට රහසේ කෙරුණු pocket meeting,සාකච්චා,විවාද,බහුල වූ අතර විශ්වවිද්‍යාලයේ වාතාවරණය ක්‍රමයෙන් උණුසුම් වුයේ මල් සතිය අහවර වී ගල් මුල් රැගෙන ජේෂ්ඨයන් කරළියට අවතීර්ණ වීම හේතුවෙනි.
                 බලහත්කාරයෙන් බොඩිංගත කිරීමෙන් ඇරඹුනු නවක වධය, එකම ස්ථානයක එකම ආහාරයක් ගැනීම,ඔරලෝසු -බඳ පටි - ගමන්මලු පැළදීම තහනම් කිරීම, අත්දිග කමිසය - ඩෙනිම තහනම් කිරීම, දේශණ වේලාවෙන් පසු බෝඩිමෙන් පිටතට යාම තහනම් කිරීම, ක්‍රීඩා පිටිය මෙන්ම විෂය භාහිර ක්‍රියාකාරකම් හා විශ්වවිද්‍යාලීය අනෙකුත් සංගම් තහනම් කිරීම,ජෙෂ්ඨයන්ගේ දේශණ වලට සවන් දීම(අවනත නොවූවන් කොන් කිරීම - යකා ගැසීම - ප්‍රතිවිරුද්ධ අදහස් මර්ධනය කිරීම),ආපන ශාලාවේදී ජෙෂ්ඨයන්ගේ ‘බයිට්’ බයිට් එකක් බවට පත්වීම, නාට්‍ය පුරුදු කිරීම හා ඒ අතරතුර ශාරීරික යෝග්‍යතාවය පරීක්ශාවට භාජනය  කිරීම, ජංගම දුරකථන රාජසන්තක කිරීම (භෞස්තීමය ලබන තුරු), නිදිවැරීමේ දක්‍ෂතාවය වැඩිදියුණු කිරීම සදහා කරවලයන් -හම්බයන් විසින් පවත්වන ලද රාතී‍්‍ර දේශණ සංවිධානය කිරීම, දේශණ ක්‍රියාකාරකම් බවට පත්වීම හා ක්‍රියාකාරකම් පමණ ඉක්මවා යාම,දහදිය - මුත්‍රා -ධාතු ,බෝතල් - ටැංකි - ගොටු වලට රැස් කිරීම, සුප්‍රසිද්ධ පංති තුන පැවැත්වීම, නහර කාරයන් -අම්බැට්ටයින් -ප්‍රතිගාමීන් වෙන් කිරීම හා කුලමල අනුව සැලකිළි වෙනස් වීම, රෙදිපිළි ඉවත් කිරීම හා සමුහ වශයෙන් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදවීම, ලිංගික අපයෝජනයට ලක් කිරීම(එක් වරෙක ndt ශිෂ්‍යාවන් ගෙල වැල ලා ගන්නා තරමටම මෙය දුරදිග ගිය බව ඔබ දන්නේද? ),ජෙෂ්ඨයන්ගේ මුත්‍ර වලින් නැහැවීම, කුණු කානු දිගේ නිරුවතින් බඩගෑම, එකතු මුත්‍රා තුල බැසගෙන සිටීම........ අවසානයේ භෞස්තීමය ලැබ පල් වතුරෙන් බකට් එක කන තුරු චක්‍රයක් සේ ඇදෙන්නට විය. (සැ.යු. ගැහැණු පිරිමි දෙපාර්ශවයටම මෙම සියල්ල පොදු වන අතර ndt එකෙ කෙල්ලෝ නැති බවද  සිටින්නේ කොල්ලන් පමණක් බවද යුග ගණනක සිට පවතින මතයකි).මේ අතරතුර ජෙෂ්ඨයන්ගේ සිතැගි පරිදි සමහර පෙම්වතුන්ට තම පෙම්වතියන් අතහැරීමට පවා සිදුවීම සෝචනීය ය.
              පෙර වසර වල මෙන් නොව මෙම වසරේ මර්ධනය සාර්ථක නොවිය.විප්ලවවාදීහු එකාවන්ව එක පෙලට සිට ගත්හ.එකෙකුගේ අසරණ වීමකදී ඔහුට පිහිටට ආවෝය. උණුසුම් වීම - වචන හුවමාරුව - බැන ඇඬ ගැසීම සිට අවි අතට ගැනීම දක්වා ගතවූ කාලය දෙමසකට වැඩි නොවිණි.පළමු වරට නවකවධ විරෝධීහු තම සටන වෙනුවෙන් ලෙයින් වන්දි ගෙවුහ.මාස ගණනාවකට සරසවි වැසී ගියේය.
                 නැවත සරසවිය ආරම්භ විය.අළු යට ගිනි නැවත මෝදු වෙමින් සටන් ඇති විය.තාක්ෂණික ආයතනයේ අධ්‍යක්‍ෂක තුමා ගැටුම් විසදීමට ගොස් පහරකෑමට ලක්වීම, නවකවධ විරෝධී ශිෂ්‍ය එකමුතුවට කරුණාව දැක්වූ ගුරු පියෙකුට මරණිය තර්ජන එල්ල කිරීම හා ඉන් නොනැවතී ගුරු නිවස වටලා පහරදීම.( වාසනාවකට එතුමා එදින ගුරු නිවාසයේ නැවතී සිටියේ නැත.),නවකවධ විරෝධී සිසුන් පැවැත්වූ සාමකාමී පා ගමන ‘අන්තර්’වාධින්ගේ බාදා කිරීම මැද පොලිස් මැදිහත්වීමෙන් විසුරවා හැරීම මෙම කාලයේ සිදු වූ අමතක නොවන සිදුවීම් කිහිපයකි.
                 නැවතත් නැවත නැවතත් සරසවිය වැසි යද්දී,විප්ලවවාදීහු එකිනෙකා මර්දනයට යටත්ව හිස නමද්දී හෝ පාඨමාලාව අතහැර යද්දී තවත් පිරිසක් මේ අභියෝගය භාරගත්තෝය.තරමින් 50ක් පමණ වූ මෙම පිරිස ක්‍රියාකාරී සාමාජිකයන් 70 කට ආසන්න ප්‍රමාණයකට ලඝු විය.
    භිෂණය මර්ධනය කළහැක්කේ භීෂණයෙන් ම පමණක්මය.විප්ලවවාදීහු ප්‍රතිවිප්ලවවාදින් දෙසට භිෂණය ගෙන යන්නේ මේ අවධියේය. නේවාසිකාගාර,විශ්වවිද්‍යාලය අවට මංමාවත් යුධ පිටි බවට පත් විය.මෙම ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙස අදටත් ගල්කිස්ස උසාවියේ නොවිසදුනු නඩු 6ක් ඉතිරිව පවතින අතර චුදිතයන් වූ ශිෂ්‍යන් රැසක් තවමත් ස්වකීය ධනය කාලය කැප කරමින් එම නඩු වලට සහභාගී වෙති.
              සරසවිය නිහඩ විය දෙපිරිසකට පිල් බෙදුණු ndt සිසුන් එකිනෙකා නොහදුනන සේ කල්ගෙවුහ. මේ අතර සාම සාකච්චා නම් ප්‍රෝඩාව කරළියට පැමිණි අතර එය හුදෙක් 71 වන නවකයන් පැමිණීම තෙක් පමණක්ම විය.
                  නැවත පෙර ක්‍රියාවලිය තීව්රව ද වඩා ක්‍රමෝපායශිලීව ද  දියත් කරන ලදී.මෙම වකවානුව රාජ්‍ය විශ්වවිද්‍යාල තුල ‘අන්තර්’ ඒකාධිපත්‍ය  බිඳවැටෙමින් පැවතුන යුගයක් බව පාඨක ඔබේ අවධානයට යොමු වීම වටී.නමුත් මෙවර නවකවධ විරෝධීහු වඩා සංවිධානාත්මකව එයට මුහුණදුන්හ.වඩා පැහැදිලි ප්‍රතිපත්තියක පිහිටූ ඔව්හු කැපී පෙනෙන නායකත්වයක් වටා ඒකරාශී වුහ.ගල් මුල් වෙනුවට බුද්ධිය අතටගත් ඔව්හු ශිෂ්‍ය සංගමය ප්‍රතික්ෂේප කරමින් එයින් වෙන්ව ‘ගොඩ’ට පැමිණ වෙනමම සංගමයක් පිහිටවූහ.
                       Batch trip, T – shirt, Hostel, බකට්, කුප්පි, Batch photo ඇතුළුව අතහරින ලද්දන්ට නොදෙන බවට පුන පුනා සපථ කළ සියලු යතාර්ථවත් කරමින් අභියෝග ලද්දෝ තම සුවිසල් දෙවන පියවර තැබුහ. පටුවත, E – soft හා 2nd lane වැනි ප්‍රසිද්ධ ගැටුම් කිහිපයක් නිසාවෙන් දෙවන පරපුරද තම සොයුරන්ගේ ලෙයෙහි ඝනකම බැලුහ.එමෙන්ම වැලිකඩ සිරබතේ රස බලන්නටද (අ)වාසනාව පෑදිණ.නමුදු එකෙකු වැටෙන විට එකෙකු ඉදිරියට ආ නිසාවෙන්ම ‘ජෙප්පෝ’ පරාජය පිළිගත්හ.
             සිව් වසරක ගමනේ තවත් එක් ඉදිරි පිම්මක් පනිමින් 2011 නොවැම්බර මස ඉතිහාසයේ ප්‍රථම වරට ndt ශිෂ්‍ය සංගමයේ නිලවරණය වෙනුවෙන් නාම යෝජනා 2ක් ඉදිරිපත්වූ අතර, වාද විවාද සංවාද ගණනාවකට පසු විශ්වවිද්‍යාලයේ සාමය හා ශිෂ්‍යන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම වලක්වාගනිමින් ඒකමතික සම්මුතියකට එලඹීමට දෙපිරිසේම නායකයන් හට හැකි විය.ඒ අනුව ශිෂ්‍ය සංගමයේ නිල ලත් හා නිල නොලත් තනතුරු සියල්ලන්ගෙන්ම 50% ක වපසරියක් අභියෝග ලද්දෝ දිනාගත්හ.
               බල තුලනය පිළිබද මත ගැටුම් හැල හැප්පීම් මැද  ndt ශිෂ්‍ය සංගමය අසාර්ථක වූ නමුදු 72 වන පරපුර පෙර තිබු තුච්ච සංස්කෘතියෙන් බැහැරව පිලිගන්නට ද, ඔවුනට සාමකාමී වටපිටාවක් තුල අධ්‍යාපනය කරගන්නටද, අධ්‍යාත්මිකමය, ක්‍රීඩාමය, සමාජීයමය අත්දැකීම් ලබාගත හැකි පරිදි උත්සව හා වැඩසටහන් ක්‍රියාත්මක කරන්නටද නව ශිෂ්‍ය සංගමයට හැකි විය.
           ‘දිය යටින් ගින්දර’ ප්‍රතිපත්තිය ගෙනගිය බිදවැටුණු ‘අන්තර්’වාදීහු තැන තැන කල්ලි ගැසෙමින් ජුන්නන්ට ඇම දැමුහ.ශිෂ්‍ය සංගමය තුල බලය අල්ලා ගැනීමේ මෙහෙයුමක ssu නියෝජිතයන් වෙහෙසෙද්දී ප්‍රතිපත්තියක් නැති දුර්වල නායකත්වය නිසා ‘අන්තර්’වාදීහු මතවාදමය වශයෙන් පමණක් නොවැ භොතික වශයෙන්ද කල්ලි බවට බෙදී වෙන්වුහ.
              නැවතත් නවකවධ විරෝධී ගමනක අවශ්‍යතාව පැනනගින්නේ මෙවන් මොහොතකය.කල්ලිවාදීන්ගේ කුමන්ත්‍රණ හමුවේ රොද බඳින අපේම තුන්වන පරපුර නැවතත් බියවැද්දීම් හා පහරදීම් වලට මුහුණදුන්හ. නමුත් 2nd lane හිදී ඊට නිසි පිළිතුරු දීමෙන් පසු තත්වය සමතයකට පත්විය.කුමන්ත්‍රණ වලින් අල්ලාගත් බහුතර බලයෙන් ප්‍රයෝජනයක් ගත නොහී ‘මුහුණත් එක්ක තරහට නහය කපාගත්’ ‘අන්තර්’වාදීහු ndt ශිෂ්‍ය සංගමයෙන් පල්ලම් බැස්සෝය.
              73 වන පරපුර දැන් සරසවියේය. වධයෙන් තොර නවකයෝ හිතු මතේ සැරිසරමින් සරසවියේ නිදහස භුක්ති විදින අතරම ශිෂ්‍ය සංගමයද, ජෙෂ්ඨත්වයද, ලඝු කොට තකමින් ක්‍රියාකරන බව කිහිපවරක්ම ඔප්පු කර ඇත.නවකයන් වෙත විෂබීජ මුදාහරිමින් බෝඩිං සංස්කෘතිය ඔප්නන්වන්නට මාන බලන ‘බොර දියේ මාළු බාන්නන්’ ක්‍රියාකාරී වන මොහොතක දිනාගත් නිදහස රැකගැනීමේ පරම වගකීම වර්ථමාන අභියෝග ලද්දන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වශයෙන් ඉතිරිව පවතී.......

මාතලන් ෴

No comments:

Post a Comment